LOCALවසර 36ක් පුරා දුටු සිහිනය

වසර 36ක් පුරා දුටු සිහිනය

-

- Advertisment -spot_img

දින 29ක් පුරා කණ්ඩායම් 32ක් එකම කුසලානයක් හිමිකර ගැනීමේ අරමුණෙන් සහභාගී වූ තරග 63කින් පසු මෙවර පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂයට ඊයේ (19) ළඟා වුණි.

දකුණු ඇමරිකාව සහ යුරෝපය අතර සටනක් බවට පත්ව තිබූ මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ආරම්භයට පෙර උත්කර්ෂවත් කෙටි සමාප්ති උත්සවයක් පැවැත්වුණි.

එහිදී ශූරයන්ට පිරිනැමෙන ලෝක කුසලානය නිරාවරණය කළේ හිටපු ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක අයිකර් කැසිලාස් සහ සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනී දීපිකා පදුකෝන්ය.

එකම කුසලානයක් වෙනුවෙන් තරග වැදීම සඳහා ආජන්ටිනාව සහ ප්‍රංශ ක්‍රීඩකයින් පිටියට පිවිසුණේ ඉන් අනතුරුවය.

ආරම්භයේ සිටම තරගය සිය අණසකට නතු කරගෙන සිටි ආජන්ටිනාවට පළමු ගෝල රැස් කිරීමේ අවස්ථාව උදාවූයේ 23 වන මිනිත්තුවේදීය.

ආජන්ටිනා ක්‍රීඩක ඇන්හෙල් ඩි මරියාට දඬුවම් සීමාව තුළදී එල්ලවූ නීතිවිරෝධී අභියෝගය හේතුවෙන් ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමිවුණි.

සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී එම දඬුවම් පහර සාර්ථක කරගනිමින් නව ලෝක වාර්තාවක්ද පිහිටුවීමට සමත්වුණි.

ඒ, එකම ලෝක කුසලානයක මූලික වටයේදී, 16 දෙනාගේ වටයේදී, අර්ධ අවසන් පූර්ව වටයේදී, අවසන් පූර්ව වටයේදී සහ අවසන් මහා තරගයේදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

පළමු අර්ධයේ 36 වන මින්ත්තුවේදී යළි ක්‍රියාත්මක වූ ඇන්හෙල් ඩි මරියා අලංකාර ගෝලයක් රැස් කරමින් ආජන්ටිනාවට ජයග්‍රහණයේ මංපෙත් විවර කරදුනි.

තරගයේ 80 වන මිනිත්තුව දක්වාම ලෝක කුසලානය අත පොවන මානයේ රඳවාගෙන සිටි ආජන්ටිනාවෙන් තරගය ගිලිහී යාම ආරම්භ වූයේ 80 වන මිනිත්තුවේදී ප්‍රංශයට ලැබුණු දඬුවම් පහරක් හේතුවෙනි.

එම දඬුවම් පහර සාර්ථක කරගනිමින් Kylian Mbappé  එක් පසකට දෝලනය වෙමින් තිබූ තරගය උඩුයටිකුරු කිරීමට සමත් වුණි.

ඉන් නොනැවතුණු Mbappé පළමු ගෝලය රැස්කර තත්පර 97ක් ගතවෙද්දී තවත් ගෝලයක් රැස්කළේ ලුසෙයිල් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රංශ ක්‍රීඩාලෝලින් තුළ බලාපොරොත්තුවක් එක් කරමිනි.

පසුපසින් පැමිණ ප්‍රංශය එල්ල කළ අනපේක්ෂිත අභියෝගය හේතුවෙන් නියමිත කාලය අවසන් වනවිට ගෝල 2ට 2ක් ලෙස තරගය ජයපරාජයෙන් තොරව අවසන් වෙද්දී ලෝක කුසලානයේ හිමිකාරයින් තෝරාගැනීම සඳහා මිනිත්තු 30ක අතිරේක කාලයක් ලබාදුනි.

එම අතිරේක කාලයේ පළමු අර්ධයේ 13වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ මෙසී ගෝලයක් රැස් කරමින් ආජන්ටිනාව ගෝල 3ට 2ක් ලෙස නැවතත් තරගයේ පෙරමුණට රැගෙන ආවේය.

ලෝක කුසලානය පහසුවෙන් අත්හැරීමට අකමැතිවූ ගියවර ලෝක ශූර ප්‍රංශය ආජන්ටිනාවට දැඩි අභියෝගයක් එල්ල කරද්දී එහි ප්‍රතිඵලය ලෙස ප්‍රංශයට දඬුවම් පහරක් හිමිවුණි.

Kylian Mbappé එම දඬුවම් පහර සාර්ථක කරගනිමින් පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයකදී ගෝල ත්‍රිත්වයක් රැස්කළ ලොව දෙවැන්නා බවට පත්වුණි.

අතිරේක කාලයේ අවසන් මිනිත්තුව දක්වාම ලකුණු තත්ත්වය ගෝල 3ට 3ක් ලෙස සටහන්ව තිබූ අතර අවසන් මිනිත්තුවේදී ආජන්ටිනා දැල් රකින්නා වන එමිලියානෝ මාර්ටිනස් වැළැක්වූ එම ගෝලය හේතුවෙන් ප්‍රංශයට අඛණ්ඩව දෙවන වරටත් ලෝක ශූරයින් බවට පත්වීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

අනතුරුව ලෝක කුසලානයේ හිමිකරුවන් තෝරාගැණුනේ දඬුවම් පහර මගිනි.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් තරගයක තීරණය දඬුවම් පහර මගින් තීරණය කෙරුණු තුන්වන අවස්ථාව මෙයයි.

ලෝක කුසලානය තම කණ්ඩායමට හිමිකරදීමේ වගකීම දැල් රකින්නන්ට පැවරෙද්දී ප්‍රංශය වෙනුවෙන් Kylian Mbappé පළමු දඬුවම් පහර සාර්ථක කරගත් අතර ආජන්ටිනාව වෙනුවෙන් ලියොනල් මෙසී පළමු දඬුවම් පහර සාර්ථක කරගත්තේය.

කෙසේ වෙතත් ප්‍රංශය වෙනුවෙන් දෙවන අවස්ථාව හිමිකරගත් කිංස්ලි කෝමන් එල්ල කළ පහර ආජන්ටිනා දැල් රකින්නා වන එමිලියානෝ මාටිනස් සාර්ථකව වළක්වා ගනිමින් ආජන්ටිනාව ඉහළට ඔසවා තැබීමට සමත්වුණි.

ආජන්ටිනාව දෙවන දඬුවම් පහරත් සාර්ථක කරගනිද්දී ප්‍රංශය වෙනුවෙන් තුන්වන අවස්ථාව හිමිකරගත් ඔරලියන් චුවාමිනිගේ එල්ලය වැරදී ගියේ ප්‍රංශයේ ලෝක කුසලාන බලාපොරොත්තුව තව දුරටත් බිඳදමමින්ය.

ආජන්ටිනාව සිය තුන්වන දඬුවම් පහර සාර්ථක කරගත් අතර ප්‍රංශය සිය සිව්වන අවස්ථාව සාර්ථක කරගත්තේය.

ඒ අනුව, ආජන්ටිනාවට ලෝක කුසලානය තමන් සතුකරගැනීම සඳහා අවශ්‍යව තිබූණේ තවත් එක් දඬුවම් පහරක් සාර්ථක කරගැනීම පමණය.

ගොන්සාලෝ මොන්ටියල් එම තීරණාත්මක දඬුවම් පහර සාර්ථක කරගත්තේ වසර 36කට පසුව ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානයක පහස විඳීමට අවස්ථාව උදාකර දෙමිනි.

සුපිරි ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනා පිල 1986 ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු වසර 36ක ඇවෑමෙන් ආජන්ටිනාව නැවත පාපන්දු ලෝක කුසලානයක් ජයගත්තේ මෙසීගේ නායකත්වය යටතේය.

එමෙන්ම ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයක් දිනූ 3වන අවස්ථාවද මෙය වේ.

ගෝල ත්‍රිත්වයක් ලබාගෙන තමා දැරූ උත්සාහය අපතේ යාම හේතුවෙන් කනස්සල්ලෙන් සිටි Kylian Mbappé ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් විසින් අස්වැසීය.

මෙවර තරගාවලියේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස 21 හැවිරිදි ආජන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් සම්මාන හිමිකර ගත්තේය.

දක්ෂතම දැල් රකින්නා බවට පත්වූයේ ආජන්ටිනා දැල් රකින ක්‍රීඩක එමිලියානෝ මාටිනස් ය.

තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයාට පිරිනැමෙන ගෝල්ඩන් බූට් සම්මනය ප්‍රංශයේ Kylian Mbappé හිමිකර ගත්තේය.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මනය හිමිකර ගත්තේ ආජන්ටිනා නායක ලියොනල් මෙසීය.

මෙසී 2014 ලෝක කුසලානයේදිද වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ අතර ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වූයේ ගෝල්ඩන් බෝල් සම්මානය දෙවරක් හිමිකරගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසය.

එමෙන්ම ඊයේ තරගයත් සමග පාපන්දු ලෝක කුසලාන තරග 26කට ක්‍රීඩා කළ මෙසී වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමටද සමත් වුණි.

ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය මෙවර අනුශූරයින් ලෙස තරගාවලිය නිමකරද්දී මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව නව ලෝක ශූරයින් ලෙස කිරුළ හිමිකර ගැනීමට සමත් වුණි.

ආජන්ටිනාව මෙවර ලෝක කුසලානයේ පළමු තරගයේදී සවුදි අරාබිය හමුවේ පරාජයට පත්වූ මෙම ලුසෙයිල් ක්‍රීඩාංගණයේදීම ආජන්ටිනාවට අවසානයේ ලෝක ශූරයින් ලෙස පාපන්දු ලෝක කුසලානය එසවීමට හැකිවීම දෛවෝපගත සිදුවීමකි.

ඒ අනුව ලෝක පාපන්දු පිටිය දිග්විජය කළ මෙසී ලෝක කුසලානයක් අතදරාගෙනම ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙද්දී ආජන්ටිනාව ඉදිරි වසර 4ක කාලයේදී ලෝක ශූරයින් ලෙස වැජඹෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you