හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදු කළ පුද්ගලික පැමිණිල්ල අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කර ඇති අතර එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් මස 15 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළ බවයි වාර්තාකරු සඳහන් කළේ.
2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.




