විදේශීය ණය නිසි පරිදි ගෙවාගෙන යාමට නොහැකිවීම සහ වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව විදෙස් ණය ලබාගෙන දේශීයව වියදම් කිරීම බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඉන්දියාවේ “ද හින්දු ” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට වෙමින්.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට නියමිත ණය සම්බන්ධයෙන්ද මෙහිදී අධිපතිවරයා අදහස් දක්වා තිබුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය ඇතුළු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතික කිරීම් ලබා ගැනීම සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකාව බලා සිටිමින් පවතින බවද ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
“අපි අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ විවෘත, සංසන්දනාත්මක සහ විනිවිද පෙනෙන පදනමක් මත හැකි සියලු තොරතුරු බෙදාගෙන ඇත. දැන් ඔවුන්ට එය දෙස බලා ඔවුන්ගේ තීරණ අභ්‍යන්තරව ගෙන නැවත එය දැනුම් දෙනු ඇත.
ඔවුන් ඉක්මනින් එය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,”
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා “ද හින්දු ” පුවත්පතට එලෙස ප්‍රකාශ කර තිබුණා.
මෙම වසර අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉලක්ක කළද ද්විපාර්ශ්වික සාකච්ඡා ඇදී යාම නිසා එය අසාර්ථක වී ඇති බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.
එහෙත් මේ වසරේ IMF සහාය ලබා ගැනීමට නොහැකි වීම චීනය සමඟ සාකච්ඡා ප්‍රමාද කිරීම එකම හේතුව නොවන බව ප්‍රකාශ කර ඇති මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ චීනයේ තිබූ ඇතැම් කොවිඩ් සීමා කිරීම් ඇතුළු වෙනත් කරනා ඊට බලපෑ බවයි.
ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික ණයවලට අමතරව, ශ්‍රී ලංකාව පුද්ගලික ණය හිමියන්ගෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇති අතර, අවධානය යොමු වී ඇත්තේ තීරනාත්මක IMF සහාය ලබා ගැනීම සඳහා ද්විපාර්ශ්වික ණය හිමියන් කෙරෙහි වනවා.
අඩු පොලියට සහ දිගු කාලීනව ලබා ගන්නා බහුපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත නොකරනු ඇති අතර, වාණිජ ණය හිමියන් සමඟ සැබෑ සාකච්ඡා ආරම්භ වන්නේ IMF වැඩසටහන ආරම්භ වූ පසුව බවද සඳහන්.




