ලබන 18 වනාදා දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයා ට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමිනි.
ඒ අනුව, අද සිට ලබන 18 වනදා දක්වා විභාග රාජකාරී ඇතුළු සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (13) පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආචාර්යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවය.
ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් ක්‍රියාත්මක කළ එම සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව එම සංගමය විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දැනුම් දී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.
මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පේරාදෙණිය පොලීසියට භාර විමෙන් අනතුරුව අදාළ සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
ඒ අනුව, සිද්ධියට අදාළව මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ




