අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (04) පස්වරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරීක්ෂා කිරීම සඳහා ගොස් තිබෙනවා.
කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුර, සීප්පුකුලම, විරුප්පන්කුලම ගම්මානයේ වගා කර ඇති බඩඉරිඟු යායවල් කිහිපයක් අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කළ බවයි වාර්තා වුණේ.
මේ වනවිට සේනා දළඹු වසංගත තත්ත්වය යම් මට්ටමකට උද්ගතව පැවතිය ද, මෙම වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක දැනට පවතින බව කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන් පළමු අවස්ථාවේදීම රසායනික ද්‍රව්‍ය භාවිත නොකර, ජෛව පළිබෝධ හානි වැළැක්වීමේ ක්‍රම උපයෝගී කර ගැනීමත්, ගොවි ජනතාවට සේනා දළඹු හානි වැළැක්වීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබා දීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වනවිට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය දිනවල පැවති වියළි කාලගුණික තත්ත්වය සේනා දළඹු වසංගත තත්ත්වය උද්ගත වීමට හේතු වූ අතර, දැනට පවතින වර්ෂා කාලගුණික තත්ත්වයත් සමඟ සේනා දළඹුවාගේ ව්‍යාප්තිය අඩාල වන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනා.
මෙහිදී වගා බිම්වල වැඩ කරමින් සිටි ගොවිජනතාව සමඟ කථාබහ කළ අමාත්‍යවරයා, සේනා දළඹු වසංගතය ඉක්මනින්ම පාලනය කරන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය හා රජය විසින් ඒ සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවත් ප්‍රකාශ කළා.
විශේෂයෙන් මෙවර මහ කන්නයේ බඩඉරිඟු වගාව සාර්ථක කර ගැනීම රජයේ ඉලක්කය බවත්, විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු වගාව අඩාල වුවහොත්, ලබන වසරේදී කිරි, බිත්තර සහ කුකුළුමස් නිෂ්පාදනය අඩාල විය හැකි බැවින් බඩඉරිඟු වගාව ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළ බව සඳහන්.




