සූක්ෂම අයුරින් හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකුව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන් විසින් මුදල් ගෙවීමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය යම් ස්ථානයක රහසිගතව සඟවා එම ස්ථානය ඡායාරූප ගතකර එම සැකකරු විසින් ගැනුම්කරුවන්ට වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම්දෙන බව මෙහිදී අනාවරණ වී ඇත.
බණ්ඩාරවෙල, නුවරඑළිය, හපුතලේ, බදුල්ල, කිරුළපන, රත්මලාන සහ පිළියන්දල යන ප්‍රදේශවල ජංගම දුරකථන මුදල් හුවමාරු ක්‍රමයකට මුදල් ලබාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබුණි.
ඒ අනුව, විමර්ශන සිදුකළ පොලීසිය 31 හැවිරිදි පුද්ගලයෙකුව පළමුව කිරුළපනදී අත්අඩංගුවට ගනු ලබන්නේ හෙරොයින් මිලිග්‍රෑම් 580ක් සමගින්ය.
ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ පොලීසිය අනාවරණ කරගෙන තිබුණේ ඔහු වෙනත් පුද්ගලයෙකුගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදීගෙන ඇති බවය.
අනතුරුව හෙරොයින් මිලදී ගැනීමට අවශ්‍ය බව උපක්‍රමිකව අඟවා එම පුද්ගලයාවද ගෙන්වාගෙන සිය භාරයට ගත් පොලීසිය ඔහු සතුව අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් අඩංගු පැකට් 1,450ක් සොයාගෙන තිබුණි.
සැකකරු මෙම ජාවාරමේදී භාවිත කළ ලොරි රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි G.H. මාරපන මහතාගේ උපදෙස් පරිදි කොළඹ දකුණ දූෂණ මර්දන ඒකකය විසින් සිදුකරයි.




