ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් රග්බි සංගමය විසුරුවා හැර ඒ සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත්කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද (24) මෙම රිට් පෙත්සමක් ගොනුකර ඇත.
ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ ෆයිස් මුස්තාෆා, පණ්ඩුක කීර්තිනන්ද සහ කීර්ති තිලකරත්න යන නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ මෙලෙස ස්ථාවරකරණ කමිටුවක් පත්කිරීම නීති විරෝධී බවය.
අභියාචනාධිකරණය තීරණය කර ඇත්තේ ඊට අදාළ පෙත්සම සලකාබැලීම ගැන තීරණය කිරීම 11 වනදා යළි කැඳවීමටය.
පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ සඳහා ස්ථාවරණකරණ කමිටුවක් පත්කිරීමත් සමඟ ටොරින්ටන්හි පිහිටි රග්බි සංගම් මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබුණි.
රග්බි නිලධාරීන් චෝදනා කරන්නේ තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවය.
මේ අතර ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයට හදිසියේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් රග්බි සංගමයේ හිටපු රිස්ලි ඉල්ලියාස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රග්බි සංගමය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ගොනුවෙමින් පවතින පසුබිමක මෙලෙස රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තැබීම ගැටලුසහගත බව ඔහු පොලීසිය වෙත පවසා ඇත.
අදාළ නඩුවලට සම්බන්ධ ලිපිගොනු අස්ථාන ගතවුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් භාරගත යුතු බව පවසමින් රග්බි සභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ.




