චීනය තායිවානය වටා දින තුනක යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
චීනය පවසා ඇත්තේ මෙය ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා අනුගමනය කළ යුතු අනිවාර්ය පියවරක් බවය.
චීන හමුදා සිදුකරන මෙම යුද පුහුණුව තායිවාන මුහුදු සීමාවේ මෙන්ම ගුවන් කලාපයේ ද පැවැත්වීමට නියමිතව ඇත.
චීනය මෙම යුද පුහුණුව සම්බන්ධයෙන් නිවේදනය කළේ තායිවාන ජනාධිපතින් සායි ඉන් වේන්ගේ අමෙරිකානු සංචාරයෙන් දින කිහිපයකට පසුව ය.
තායිවාන ජනාධිපතිනි සිය සංචාරයේ දී අමෙරිකානු කථානායක කෙවින් මැකාති හමුවූ අතර තායිවාන ජනාධිපතිනියගේ අමෙරිකානු සංචාරයට චීනයෙන් දිගින් දිගටම එල්ල වූයේ දැඩි විරෝධයකි.
ජනාධිපතිනි සායි ඉන් වේන්ගේ අමෙරිකානු සංචාරයට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බව මීට පෙර චීනය අනතුරු අඟවා තිබුණි.
චීනය පවසන්නේ තායිවානය සිය දේශසීමාවට අයත් දූපතක් බවය.
කෙසේ වුවද තමන් ස්වාධීන දූපතක් බව තායිවානය පවසයි.




