රුසියාව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් පවසයි.
යුක්රේන ආක්‍රමණයට වසරක් පිරීම නිමිත්තෙන් මියුනික් නුවර පැවති ආරක්ෂක සමුළුවකට එක්වෙමින් කමලා හැරිස් ප්‍රකාශ කළේ යුක්රේන විශේෂ මෙහෙයුම තුළ රුසියාව මිනීමැරුම්, වධහිංසා සහ ස්ත්‍රී දූෂණ සිදුකර ඇති බවය.
ඇය සඳහන් කළේ රුසියානු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාක්ෂි හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවය.
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය පවතින්නේ අන්තර්ජාතික අපරාධ අධිකරණයටය.
නමුත් එම අධිකරණයට තම බලය ක්‍රියාත්මක කළ හැක්කේ අදාළ අධිකරණය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් කළ රටවල් තුළ පමණි.
රුසියාව එම ගිවිසුමට අත්සන් කර නොමැති බැවින් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ බලයට යටත් නොවන බව වාර්තා වේ.




