ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින තමිල්නාඩු ධීවරයින් වහා නිදහස් කරන ලෙස තමිල්නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින් විදේශ අමාත්‍ය ජයිශංකර්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඔහු සඳහන් කර ඇත්තේ තමිල්නාඩුවේ ධීවරයින් 7 දෙනෙකු පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවයි.
තමිල්නාඩු ධීවරයින්ට අයත් බෝට්ටු 98ක් දැනටමත් ශ්‍රී ලංකාව සතුව පවතින බවත් එය දුප්පත් ධීවරයින්ගේ ජීවනෝපායට බලපෑම් එල්ල කර ඇති බවත් ඔහු එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
තමිල්නාඩු මහ ඇමති වැඩි දුරටත් පවසා ඇත්තේ පාක් ගල්ෆ් කලාපයේ අපේ ධීවරයින්ගේ සම්ප්‍රදායික අයිතීන්ට මැදිහත් වීම ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාවට නිරන්තර තර්ජනයක් බවයි.
එබැවින් පාක් ගල්ෆ් කලාපයේ ඉන්දීය ධීවරයින්ට අඛණ්ඩ තර්ජන ඇති නොවන පරිදි ශක්තිමත් සහ සම්බන්ධීකරණ පියවර ගත යුතු බවයි එම්.කේ. ස්ටාලින් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ
එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රා මුදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා තිබෙනවා.




