ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති නව යෝජනාව සම්බන්ධයෙන් විවාදය අද (06) පැවැත්වීමට නියමිතව තිබේ.
සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇති බව සඳහන් ය.
එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව, මලාවී, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසඩෝනියාව ඇතුළු රටවල් කිහිපයක මුලිකත්වයෙන් එම යෝජනාව ඉදිරිපත් කළ අතර මේ වන වන විට ඊට රටවල් 30ක පමණ සහය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ නව යෝජනාවට මීට පෙර සම්මත කර ගැනුණු යෝජනාවල කරුණු මෙන්ම තවත් වගන්ති කිහිපයක් ද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
හමුදා බලපෑම් ඉහළ යාම, රාජ්‍ය පාලනය විනිවිඳභාවයකින් තොර වීම, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා දඩුවම් නොපැනවීම වැනි කරුණු අදාළ යෝජනාවට ඇතුළත් කර තිබේ.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, සංහිඳියාව සහ තිරසර සාමයට මෙන්ම සංවර්ධනය ද ප්‍රධාන බාධාවක් වී ඇති බව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.




